Tweets by @Tweetsbysuku myblog: “ යාපනයේ මගේ අත්දැකීම් “ - පූජ්‍ය දෙල්ගල්ලේ පදුමසිරි හිමි.

Facebook Fan Page

Tuesday, March 19, 2019

“ යාපනයේ මගේ අත්දැකීම් “ - පූජ්‍ය දෙල්ගල්ලේ පදුමසිරි හිමි.


( වසර 33කට පෙර) ( 1985 පළමු මුද්‍රණය )

කන්කසන්තුරේ තිස්ස විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්,

පසුගිය දිනවල මුලතිව් බුදු පිලිමයක් සහ පන්සලක සිද්ධියක් අපි ඇසුවෙමු.
ඒ හාමුදුරුවන් ඒ කාලයේ ඒවාට මුහුණදුන් අයුරු.
පන්සල ආරම්භ කල මුල් කාලයේ සිදුවීමක්,

* මුලදී අපිට කොල්ලො හූ කීවා. “මොට්ටයෝ“ කිව්වා. දෙමලෙන් මොට්ටයෝ කියන්නෙ තට්ටයන්ට.
පන්සල කිට්ටුව හමුදා කඳවුරක් තියෙනවා. හමුදා උදවිය ලෑස්ති උනා, මොට්ටයෝ කියන මේ තරුණයන් ගඩොල් වලින් මර්දනය කරන්න. මම කිව්වා එහෙම කරන්න එපා මම මේක නතර කරන්නම් කියල.

● මම කොහොමද කලේ ?
කුණුහරුප කියාගෙන, මොට්ටයෝ කියාගෙන කොල්ලො යනකොට මම මොකද කලේ ?
මම කටපුරාම හිනා උනා..
දවස් 2යි එහෙම කලේ. ඊටපස්සෙ කවදාවත් හූ කිවේවත්, අර විදියට බැන්නෙවත් නෑ...

- ඊලග සිද්ධිය
ඒ පැත්තක නගරාධිපති කෙනෙක් කල බලපෑම.
● මුලදී අපට නගරාධිපති කෙනෙක් නොයෙක් බලපෑම් කලා. පෝයට ලයිට් කපනවා. බොන්න වතුර ටික ගන්න දෙන්නෙ නෑ. තරුණයින් ලවා අර විදියට කලා. නොයෙක් ප්‍රශ්න අවි ආයුධ බලෙන්වත්, මිල මුදලින්වත්, වෙනත් ක්‍රමයකින්වත් හැප්පෙන්න බෑ ඔවුන් එක්ක.
අපේ බුදු හාමුදුරුවෝ උගන්වපු කරුණාවෙන් දයාවෙන් විතරයි හැප්පෙන්න පුලුවන්. මම කල්පනා කලා මේකට විසදුම.
අපිටත් පින් සිද්ධ වෙනවා. තෙලිප්පලේ, මහ ඉස්පිරිතාලයට වෙසක් පෝයදාක දානයක් සූදානම් කලා. හමුදාවත්, සිංහල පිරිසත් එක්ක.
● දානයක් දීලා මගේ ඇඟේ ලේ දන් දීලා ඒ පුද්ගලයාට ලියුමක් ලියල යැව්වා.
- අපේ ආගමේ හැටියට, නිරෝගීකම ලැබෙන්න හේතුවක් මේක. තමුසෙට කොච්චර සල්ලි තිබුනත්, මේ වගේ වැඩක් කලේ නෑ. තමුසෙගෙ නෑදෑයින්ට, අසල්වාසීන්ට මට මෙහෙම වැඩක් කලා. ඒකෙන් තමුසෙටත් නිරෝගීකම ලැබෙවායි ප්‍රාර්ථනා කලා - ඒකෙන් නගරාධිපතිගේ හිත වෙනස් උනා...

● අපට ශක්ති පමණින් කල උදව් තුලින් අසරණ අහිංසක ද්‍රවිඩ ජනතාව අප ගැන පැහැදීමක් ඇති කරගත්තා. විශේෂයෙන් පෝය දවස් වල බෞද්ධයින් එකතුව, මහ රෝහලේ රෝගීන්ට දන් දීම, අවශ්‍ය උපකරණ පරිත්‍යාගය සිදු කලා. ඒවගේ දේවලට යුද හමුදාවෙත් සහය ලැබුනා.
මට දවසක් කල්පනා උනා, 56ට ඉස්සර යාපනේ ඉස්සර අපේ හාමුදුවරු ඉගෙනගත් බව. ස්කවන්ධරෝදය කොලිජියේ දෙමල, ඉංග්‍රිසි ඉගෙන ගෙන තියෙනවා හාමුදුරුවරු බොහෝදෙනෙක්. බලෙන් නෙමෙයි කැමැත්තෙන්ම. දෙමල අය සිංහල ඉගෙන ගත්තා. විශ්ව විද්‍යාල වල මේ අධ්‍යාපන ක්‍රමය සුළුවෙන් හෝ පටන් ගත යුතුයි හිතුවා. පොඩි ළමයින් අතර දෙමල සහ සිංහල ගෑණු ළමයින් 2ක් අනුරාධපුරේ සර්වෝදය මධ්‍යස්ථානයට යවලා පුහුණු කරලා පෙර පාසලක් ආරම්භ කලා. දෙමල ළමයින් හා සිංහල ළමයින් දෙගොල්ලන්ටම, පෙර පාසල ආරම්භ කරපු වෙලාවේ සියලු ආගම් වලට අයත් දෙමල, සිංහල පූජකතුමන්ලා ඇතුළු බොහෝ අයත් හිටියා.

● කන්කසන්තුරේ සුළු නගරාධිපති ජයබාලසිංහම් මහත්තයා වැදගත් කතාවක් කලා,
කන්කසන්තුරේ බෞද්ධ විහාරයක් ඇති කිරීම බෞද්ධයන්ගේ පමණක් නොව, මෙහි වෙසෙන ද්‍රවිඩ ජනතාවගේද වාසනාවක් බවත් දෙල්ගල්ලේ පදුමසිරි හිමියන් ජාති ආගම් භේදයකින් තොරව කාටත් සේවය කරන බවත්, බෞද්ධයා කවුද ? සිංහලයා කවුද තේරුම් ගත්තේ මේ හිමියන්ගෙන් බවත් එතුමා ප්‍රකාශ කලා.
- එතුමා කොයිතරම පැහැදුනාද කිව්වොත්, පෙර පාසලට අවශ්‍ය රුපියල් දහස් ගණනක් දේවල් පමණක් නොව, විහාර මන්දිරයට අවශ්‍ය උළු - සිවිලිම් තහඩු ආදියත් පරිත්‍යාග කලා.

පන්සල ආරම්භ කරන්නට යනවිට ඊට විරුද්ධව කටයුතු කල නගරාධිපති කෙනෙක් ගැන මම කිව්වා ?
ඒ නගරාධිපති තමයි මේ අන්දමට පන්සලේ හොදම දායකයා බවට පත් උනේ !!!

● ද්‍රවිඩ මහතෙක් හාමුදුරුවන්ට ගරු කල ආකාරය.
පන්සල ලගින් යනවා ග්‍රාමසේවක මහත්තයෙක්. පන්සල ලගදි හැමදාම පන්සල බයිසිකලෙන් ලගින් බැහැලා, පාස් උනාම නැගල යනවා. මම දවසක් ඇහුවා ඇයි හැමදාම බැහැල යන්නෙ ?
“ අපි බෞද්ධයෝ නෙමෙයි. නමුත් අපි හාමුදුරුවරු ආශ්‍රය කරල තියෙනවා. කඩුගන්නාවේ රාජකාරි කරල තියෙනවා. අපි දන්නවා ගරු කරන්න“.
මම මේ පුද්ගලයා පන්සලට එක්කගෙන ගිහිල්ලා අපේ ගමෙන්, කිරි දොදොල් එහෙම ලැබිලා තිබුනා. ඒව දීලා කතාබස් කලා.
- අන්තිමට ඔහු නිතර නිතර පන්සලට එනවා විතරක් නෙමෙයි. ගෙදර ගහේ ඉස්සරෝම හැදෙන කොස් ගෙඩිය ඉදවලා පන්සලට ගේනවා. මමත් යම් යම් උපකාර කලා.
මෙයා බොනවා. මෙයාගේ නෝනා කිව්වා මෙයා බොනව හරියට. මේක නවත්තන්න පුලුවන් හාමුදුරුවන්ට. මම කිව්වා නවත්තන්න. නැවැත්තුවා.
- ඊටපස්සෙ වෙව්ලන එක පටන් ගත්තා. මාස කීපෙකින් ලෙඩ උනා. වෛද්‍යවරු බොන්න කිව්වා. කොහොම හරි බිව්වා වැඩි උනා. මැරෙන මොහොතට පත් උනා. මම ගියා බලන්න.
- මාත් එක්ක තිබුනු සම්බන්ධය ඒ විදියටම මගේ දරුවන් එක්ක පවත්වන්න කියල ඉල්ලීමක් කලා.
● මළ ගෙදර මම ගියා. අවමගුලකට පලවෙනි වතාවටයි, මංකොල්ලායි කියන ඒ ගමට භික්ෂුන්වහන්සේ කෙනෙක් විදියට වැඩියේ මමයි.

● දෙමළ මිනිසුන්ට ඇති ප්‍රශ්නය ගැන උදාහරණයක් !

දවසක් දෙමල ළමයෙක් ඔහුට සිංහලෙන් ලියා තිබූ ලිපියක් තේරුම් කරගන්නා කෙනෙක් දවස් 2-3ක් හොයලා බැරිම තැන මාව හොයාගෙන ආවා. රෑ 8ට පමණ ඇති. රැකියාවක් සදහා සම්මුඛ පරීක්ෂණයට කැදවීමේ ලිපියක්. ඒක පහුවදා උදේ 8.30ට කොළඹදී. මේක දැනගත්ත දෙමල තරුණයා විලාප දෙන්න ගත්තා. අවසාන කෝච්චිය ඒ දවස් වල තිබුනේ සවස 6.30ට. ඒක පිටත් වෙලා ගොහින් පැයකටත් වැඩියි. දහස් ගණනක් දීලා වාහනයක් අරගෙන කොළඹ යන්න වත්කමක් මේ අයට නෑ. ඉගෙන ගෙන රැකියාවක් කරලා දුප්පත්කමින් ගොඩ ඇවිත් දෙමාපියන්ට - සහෝදර සහෝදරියන්ට සැලකීම යනාදි සියලු අනාගත බලාපොරොත්තු සුන් උනා. “ භාෂාව පිලිබද ප්‍රශ්නය නිසා “
( ඒ ලියුම අනිත් පැත්තේ දෙමලෙනුත් ටයිප් කර එවා තිබුනා නම් මොකක්ද ඒකෙ වරද ? ?

- ● - උතුරේ අධ්‍යාපනය ආභරණයක් නොව ආයෝජනයකි. දකුණෙ අධ්‍යාපනය අතහැරැනද කරන්න දෙයක් තිබිය හැකිය. උතුරේ එසේ නොවේ. අධ්‍යාපනය ගිලිහුනොත් ඔවුන් විශාල ආගාධයකට වැටේ. කෘෂිකර්මාන්තය වුවද කල යුත්තේ ඉතා දුක් විඳ මහන්සි වී ජලය ලබාගෙන කල යුතුය. ඒ නිසා ඔවුන් අධ්‍යාපනයට වියදම් කරන්නේ ආයෝජන මානසිකත්වයෙනි. එනම් එය කෙසේ හෝ නැවත ලැබිය යුතුය යන සිතිවිල්ලෙනි.
- එනිසා ඔවුන්ට ජාතිකත්වය මත උසස් අධ්‍යාපන වරම් නොලැබී යාම ඔවුන්ව දැඩි ජාතිවාදී මානසිකත්වයකට ඇද දමයි !

පුණ්‍යානුමෝදනීය ස්තූතිය Yatalamate Kusalananda හිමියන්ට

No comments:

Post a Comment