Tweets by @Tweetsbysuku myblog: “ මෛත්‍රී භාවනාව “

Facebook Fan Page

Saturday, October 20, 2018

“ මෛත්‍රී භාවනාව “

අවුරුදු ගානක ඉදන් මට උවමනාව තිබ්බා, සහ උතුම් ගුණාංග තියෙන අයගෙන් තේරුම් අරගෙන තිබ්බ මෛත්‍රිය වැඩීම බොහෝම උවමනා තියෙන දෙයක් විදියට. ගිහි ජිවිතයෙදි ගැටෙන්න ඉඩ වැඩියි. සමාජ සේවය කලත්, වෙන රස්සා කලත් ගැටීම් වැඩියි. ගැටීම් වැඩි උනාම ඒ තුල තරහ, ද්වේෂ, ඉරිසියාව වගේ ඒව ඇති වෙන්න ඉඩ වැඩියි.
කොච්චර උවමනා උනත්, මෛත්‍රී භාවනාව කරන එක ලේසි වැඩක් විදියට නොතේරුනේ කලින් භාවනා කරද්දි “මම නිදුක් වෙත්වා“ වගේම “සියලු සත්වයෝ නිදුක් වෙත්වා“ කිව්වත් ඒක හරියටම තේරුමක් ඇතිව දැනුනෙ නැති නිසා... - බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය වගේම ආනාපානසති වගේ භාවනා වගේම, විදර්ශනා භාවනා වෙන සක්මන් භාවනාව, සතරසතිපට්ඨාන භාවනා ගැනත් තරමක දැනීමක් තිබුනත්, මෛත්‍රී භාවනාව හරියට හිතාගන්න බැරිව හිටියෙ..
-
ඔය අතර තමයි මෛත්‍රී භාවනාව පටන් ගත්තෙ. ටික දවසක් යනකොට යම් වෙනසක් දැනෙන්නත්, ඒවගේම අන් අය දක්වන ප්‍රතිචාරයන්ගෙ විශේෂ වෙනසක් දැනුනෙ. ඒකට මෛත්‍රී භාවනාව හේතු වෙන්න ඇති කියල තේරෙන්නත් තව ටික දවසක් ගියා ( මේ තත්වයන් කර්ම ශක්තිය සහ තව සාධක එක්ක වෙනස් වෙන්න ඉඩ තියෙනවා).

● මෛත්‍රී භාවනාවෙදි මුලින්ම කරන්නෙ තමන්ට මෛත්‍රි වඩන එක.
තමන් තුල තියෙනවා වෙන්න පුලුවන් යම් අඩුපාඩු, බැරිකම්, වැරදි තීරණ වගේ දේවල්. ඒව තේරුම් අරගෙන ඒවට සමාව දෙන්න පුරුදු වෙන්න ඕන. ඒවගේම අන් අයගේ දුර්වලතාවයන් වලටත් සමාව දෙන සුවපත් සිතක් ඇති කරගන්න ඕන. ඒවගේම තමන්ගෙ හොද ගුණාංග ගැන සතුටු වීමත් හොදයි.
තමන්ට හරියට මෛත්‍රි කරන්න බැරි කෙනෙක් තව කෙනෙක්ට මෛත්‍රි කරන්නෙ නෑ..
ඒකියන්නෙ තමන්ට මෛත්‍රී කරන කෙනෙක් කවදාවත් සියදිවි නසාගැනීම් වගේ දේවල් කරන්නෙ නෑ. මොකද සංසාර බිය සහ අකුසලය ගැන තේරුමක් තියෙන නිසා.

● දෙමාපියන් - මිතුරන් ආදි හිතවත් අයට ඊලගට මෛත්‍රි කල යුතුයි.
තමන්ට හිතවත් අයට තමන් අතින් වැරදි - අඩුපාඩු උනා නම්, හිත රිදවීම් උනා නම් ඒව ගැන හිතලා ඒව හදාගන්නත්, ඒ අයගෙන් තමන්ට එහෙම රිදවීම් උනා නම් ඒව හිතල ඒ ගැන උපේක්ෂාවෙන් යුතුව බලන්න උවමනයි.
ඒ හැමෝම ප්‍රීතිමත් සිතින් වෙසෙත්වා කියල, සැහැල්ලුවෙන් - පහසුවෙන් - සතුටින් වාසය කරන්නෝ වෙත්වා කියල මෙත් වැඩිය යුතුයි.

● සතුරු නොවන මිතුරු නොවන මැදහත් අයට මෛත්‍රිය
මෙහෙම අය බොහෝම අයත් වෙන්නෙ එදිදෙනා ගමන් වලදි අපිට මුණගැහෙන අය විදියටයි.
වාහනයක - බස් රථයක යනකොට අනිකුත් රියැදුරන්, මගීන් ගැන ඒ අයට යහපතක් වේවා කියල හිතීම, ඒවගේම ඒ අයගේ යම් අඩුපාඩු තිබුනොත් වැරදි වගේ දේවල් ගැන උපේක්ෂාවෙන් යුතුව බැලීමත් වටිනවා.

● සතුරු - වෛරී ඇති අයට මෛත්‍රිය
මට වෛර කරන, පලිගැනීම් සිතිවිලි ඇති අය පිලිබදව හිතන්න. තමන්ට කරදර කරපු අයව, තමන්ගෙ දියුණුවට බාධා කරපු අය ගැන හිතන්න.
ඒ සියලුදෙනා එහෙම කලේ නොදැනුවත්කමින්, නොතේරුම්කමින් - කර්මය - කර්මඵල ගැන විශ්වාසයක් දැනීමක් නැති නිසා කියලත් හිතන්න පුලුවන්. ඒවගේම ඒ ඒ අයගේ ගති ස්වභාවය ඒනිසා ඒ ගැන තරහක් - ඇති නොකරගන්නත් පුලුවන්.
තමන් එක්ක හිනා නොවෙන, තමන්ට කතා නොකරන අයට පවා මෙත් සිතින් හිතල සැහැල්ලුවෙන් - පහසුවෙන් - සතුටින් ජීවත් වෙත්වායි ප්‍රාර්ථනා කරන්න.

● ජීවත්වන සියලු සත්වයෝ - දුර්වලවූද, ශක්තිමත් වූද, කුඩා වූද, විශාල වූද, පෙනෙන හෝ නොපෙනන වූද තම ගමේ - නගරයේ - රටේ - ලෝකයේ වෙසෙන සියලුම සිංහල - දෙමල - මුස්ලිම් - අනිකුත් ජාතින්, දුප්පත් - පොහොසත් උගත් - නූගත්, හිතවත් - අහිතවත් “සියලුම සත්වයන්“ නිදුක්, නිරෝගී වේවා, සුවපත් වේවා ! සැහැල්ලුවෙන් පහසුවෙන් සතුටින් වාසය කරන්නෝ වෙත්වායි මෙත් වඩන්න !!!

● අවදි වූ මොහොතේ සිට මේ මොහොත දක්වාම යම් කිසිකෙනෙක් පිලිබදව, සිතිවිල්ලකින්, වචනයකින්, ක්‍රියාවකින් සිතට දුකක් - කණගාටුවක් සිදු උනා නම්, ඒ ගැන හිතන්න. සිතිවිලි වලින් ඔබේ වචනයෙන් - ක්‍රියාවෙන් යම් අයෙකුට හිංසාවක් - පීඩාවක් ඇති වූයේ දැයි හිතන්න. සිතා ඒ හැමදෙනාටම යහපතක් වේවා ! නිරෝගි වේවා ! සුවපත් වේවා ! මෙත් වඩන්න !!!
සිහියෙන් යුක්තව දවස ආවර්ජනය කරන්න.

* මේ වගේ මෛත්‍රි කරලා, ඉහලම බ්‍රහ්ම ලෝකයේ ඉදන් පහල අවිච්චි මහ නරකය දක්වාම ඒ සියලු සත්වයන්ටම මෛත්‍රි වේවා කියල හිතන එක වටිනවා !

කරණීයමෙත්ත භාවනාවෙන් කියවෙන්නෙ, මුලින්ම තමන් තුල තිබිය යුතු ගුණාංග මෛත්‍රිය වඩන්නට. ඊටපස්සෙ සියලු සත්වයන්ටම මෛත්‍රිය වඩන ආකාරය පැහැදිලි කරලා, අවසානයේ මෛත්‍රිය නිසාම දෘෂ්ටි ගත වීමෙන් මිදිලා, ආශාවන්ගෙන් මිදීම තුලින් නිවනටත් උපකාර වෙනව කියන කාරණය කියවෙනව..

මෛත්‍රී භාවනාව පුහුණුවෙන්ම කල යුතු දෙයක් !!
- මෛත්‍රි භාවනාව කිරීම තුලින් උපෙක්ෂාවත්, සිතට සැනසීමත් ඇති වෙනවා. ඒත් ඒක එහෙමයි කියල යම් කිසි කෙනෙක් සමාජ විරෝධී හෝ නීතියට පිටින් කටයුතු කරනවා නම් ඒ අයට අදාල ලෙස කටයුතු කිරීමටත් අවශ්‍යයි.
ප්‍රභාකරන් වැනි ත්‍රස්තවාදියෙක්ව මැරුණට කිරිබත් කන එක මෛත්‍රිය නෙමෙයි. හැබැයි එවන් කෙනෙක් විසින් කරන ලද දැඩි හානි සහ කල හැකි හානි ගැන සලකා, ජනතාවටත් යහපතක් වෙන විදියට අදාල ලෙස කල යුතු දේ කිරීමත් - උපේක්ෂාවෙන් ඊටපසුව සිතීමත් කිරීම වැදගත්.

පුණ්‍යානුමෝදනීය ස්තූතිය මෙම කටයුත්තට මූලිකත්වය ගත්, Yatalamate Kusalananda හිමියන්ට සහ Marawe Dhammarathana හිමියන්ට..

( පින්තූරය මා විසින් ගන්නා ලද්දකි )

#meditation #srilanka #compassion

2 comments:

  1. මෛත්‍රී භාවනාව බිත්තියට හේත්තු වෙලා වචන ටිකක් කීමෙන් සිදු වන දෙයක් නොවෙයි. අභ්‍යන්තරය සුවපත් කරගෙන සැබෑවටම තමන් සහ අනුන් කෙරෙහි මෛත්‍රිය උපදවා ගැනීමෙන් උපදින දෙයක්. ඉතා වටින ලිපියක්!

    ReplyDelete